0

වාර්ෂික වාර්තාව - 2012/2013

බ්ලොග් අවකාශයේ මිතුරෝ 2012/2013 වර්ෂයේ වාර්ෂික වාර්තාවයි

බ්ලොග් අවකාශයේ මිතුරෝ නව නිලධාරී මණ්ඩලය 2012 දෙසැම්බර් මස 08 වන දින පත්කරගන්නා ලදී. ඉන් අනතුරුව බ්ලොග් සුහද හමුවක් සංවිධානය වූ අතර එය 2013 ජනවාරි මස 27 වන දින ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයේදී පවත්වන ලදී. ඒ සඳහා සහෘද බ්ලොග්කරුවන් 100කට අධික පිරිසක් සහභාගී වූ අතර නවක බ්ලොග්කරුවන් රැසක්ද ඒ අතර විය. බ්ලොග් අවකාශයේ මිතුරෝ සහයෝගය ඇතිව එම සුහද හමුව සංවිධානය කරන ලද්දේ සමින්දික ශ්‍රීමන්ත (සෑම්), සංජීව සිරිවර්ධන (සිරා) සහ ලක්මාල් කන්දෙවිදාන (අටම්පහුර) ප්‍රධාන කණ්ඩායමක් විසිනි. එය බ්ලොග්කරුවන් අතර සුහදත්වය වර්ධනය කිරීමට මෙන්ම සයිබර් සිහින උළෙලට ආරම්භයක් ලබාදීමටද මනා පිටුවහලක් විය.

ඉන් පසුව 2013 අප්‍රේල් මස 21 වන දින බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කල "සයිබර් සිහින බක්මහ උළෙල" මහරගම ජාතික යොවුන් ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. ඉතිහාසයේ බ්ලොග් සුහද හමුවකට සහභාගී වූ වැඩිම පිරිස වූ 165 දෙනෙක් සයිබර් සිහින උළෙල සඳහා සහභාගී වූහ. සයිබර් සිහින බක්මහ උළෙල සඳහා ක්‍රීඩා පිටිය සපයාගැනීමට අභිත එදිරිසිංහ සොයුරාගේ දායකත්වය ලැබිනි. සහෘද බ්ලොග්කරුවන් රාශියක් සයිබර් සිහින උළෙල යතාර්ථයක් කිරීමට දායක වූහ. නවක සහ පැරණි භේදයකින් තොරව සිංහල බ්ලොග්කරුවෝ සයිබර් සිහින උළෙල වර්ණවත් කලහ.

මෙම වසර තුලදී බ්ලොග් අවකාශයේ මිතුරෝ නව ලාංඡනය සහ තේමා පාඨය හඳුන්වා දෙනු ලැබීය. බ්ලොග්කරුවන් සඳහා ටී ෂර්ට් එකක් නිර්මාණය කිරීමට සැලසුම් කලද එය කල් දැමීමට සිදුවිය. 

පසුගිය වසර තුලදී අප වෙත විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් කණ්ඩායම් සහ පුද්ගලයන් සිටිති. ඒ අතරින් බස් රේඩියෝව ප්‍රධාන තැනක් ගනී. අපගේ සියළු වැඩසටහන් සඳහා පූර්ව ප්‍රචාරය ලබා දෙමින් සහ උත්සව අවස්ථාවල සංගීතය සහ ශබ්ද විකාශන කටයුතු සපයා දෙමින්ද, උත්සව අවස්ථා සජීවීව ප්‍රචාරය කරමින්ද ඔවුන් දැක්වූ සහයෝගය විශිෂ්ඨය. එමෙන්ම සහෘද සින්ඩිකේටර් අප වෙත ලබාදුන් සහයෝගය ද ස්තූතිපූර්වකව සිහිපත් කරනු කැමැත්තෙමු. පුද්ගලිකව සහ කණ්ඩායම් වශයෙන් අප වෙත සහයෝගය දැක්වූ සහ අප දුෂ්කරතා වලට මුහුණ දුන් අවස්ථා වලදී අප දිරිමත් කළ සැමට අපගේ ස්තුතිය පිරිනමනු කැමැත්තෙමු. ඉදිරි වසර වලදීද අභිනවයෙන් පත් වන නිලධාරී මණ්ඩලයට ඔබගේ සහයෝගය ලබා දෙනු ඇතැයි ද අපේක්ෂා කරමු.

ස්තුතියි.
සංවිධායක මණ්ඩලය (2013)
Back to Top